සටහන

කැමති අය විතරක් කියවන්න...

ලියනව කියනව විතරයි ලියන්නෙ නෑ කියල බිරිඳ හැමදාම කියනව. ඔන්න අදවත් ලියල ඉවර කරනව කියල හිතල තමා පටන් ගන්නෙ. කරුමක්කාරය හැමදාම ලියන්නෙ එකම ජාතියෙ ඒව කියල කියන අය ආපහු බනින්නනම් එපා. මොනා කරන්නද මේව නොලිය බෑ.. 

කාලය ගෙවිල යන්නෙ අපි කවුරුවත් නොහිතන නොපතන විදියට. අද කරන්න හිතන දේ හෙටත් කරන්නෙ නැතිව ඉතිරි වෙන්න අර හැමෝම කියනව වගේ කම්මැලි කම හන්ද..මන් අන්තිම ලිපිය ලියල අවුරුදු හතරකුත් වෙන්න ඇවිත්.. හැමදාම කියනව වගේ ජීවිතය හරිම පුදුමාකාරයි.. මගේම වෙච්ච මගේම සහකාරිය එක්ක දැන් අවුරුදු 1 1/2කුත් ගෙවල ඉවරයි.. මන් වගේම හිතන පතන කෙනෙක් ලැබුනෙ මගේම පූරුවෙ පිනකට වෙන්න ඕනෙ.. මන් හිතන්නෙ දැන් මගෙ බ්ලොග් එක බ්ලොග් කියවන වලිනුත් අයින් වෙලා, කමක් නෑ.. ඔන්න එහෙනම් අද කතාවත් කියන්න ගන්නම්.. 


එදා බ්‍රහස්පතින්දාවක්, මන් කොහුවල හන්දියට ආවෙ 139ක නැගල. එතනින් පාර පනින්න වෙනම කෝස් එකක් කරන්න ඕනෙ කියල යන එන අය නම් දන්නව. කොහොම හරි පාර පැනගත්ත කියමුකො.එතකොට තමා මතක් උනෙ නෝන උදේම බැඳල දුන්න Extra බත් එක. 


"ඕක කන්න නැති කෙනකට දෙන්න.. අද හරි කෙනෙක් හම්බ වෙයි.."

 ඇය උදෙන්ම කිව්වෙ, මන් දවස් කීපයක්ම හම්බවෙච්ච අය ගැන කියපු නෝක්කාඩුව හන්ද.. කිව්ව වගේම ආලෝක සංඥා ලඟම බිම මනුස්සයෙක් කිරි පැකට් එකක් බොනව. පේන විදියට නම් කවුරු හරි අරන් දීල. මට හිතෙන විදියටනම් මේ මනුස්සයත මූණ කට හෝදගන්නවත්, ඇඳන්  ඉන්න ඇදුමක් ගැන හිතන්නවත් මනසක් ඉතුරු වෙලා නෑ..

මූණ පුරාවට වැවුණු ගන රුවුල ඒ මුහුණට එකතු කලේ තවත් විකාර ගතියක්. මන් එතන නැවතිලා කෑම එක අරන් අතට දුන්න.. 

"මෙක කන්න.. "

ස්තූතියි කියල බාරගන්න හිතක් නැති හන්දම මගේ අතින් උදුරල ගත්ත ඔහු දිහා මන් ආයෙත් බැලුව. දවස්ගානකින් කාපු නැති ඔහුට දැනුනෙ කොහොම හැගීමක්ද කියල කියන්න මන් පොහොසත් නැති උනත් ඒක දැකල අහින්සක සතුටක් දැනුනෙ ඇහේ කොනකුත් තෙමමින්..

ඔතල තිබ්බ පත්තර කොලේ විසිකරල අත් දෙකෙන්ම කන්න ගත්තෙ පුංචි කාලෙ මතක්කරමින්.. දවසකට පොෂ් කෑම කන්න දහස් ගනන් වියදම් කරන සමාජයේ මෙ වගේ අයට පිහිටක් වෙන්න කරන්න දෙයක් හිතන්න මොහොතක් වෙන් කරන්න කියල මන් ඉල්ලන්නෙ මේක කියවන හැමෝගෙන්ම..  


 මට පරක්කු නිසා මම පාර පැන්න.. ඒ වෙද්දිත් ඔහු ඒ කෑම එක කාල ඉවරයි.. දෙන්න වතුර මන් ගාව තිබුනෙ නෑ. ඉක්මනට ඔහුට මේ ඉන්න තත්වෙන් ගොඩ එන්න ලැබෙන්න, තව එක පාරක් හැරිල මන් පැතුව.. 

හැමදාම අපි ලඟ සැප තියෙන්නෙ නැ.. කාත් කවුරුත් නැති දවසට අපි හැමෝම ගොඩක් අසරණයි..කර කියාගන්න විදියක් නැතුව, හිසට හෙවනක් නැතුව අපිත් එක්කම තව කොච්චර මිනිස්සු මේ සමාජෙ ජීවත් වෙනවද? කරුමක්කාරයො කියල අත පිහිද ගන්නෙ නැතුව අපිට පුලුවන් විදියට යමක් කරන්න බලමු.. මේක කියවල කිහිප දෙනක් හරි මේ දේවල් ගැන හිතනවනම් ඒක මට ලොකු සතුටක්..

එහෙනම් අදට ගිහින් එන්නම්..

මගේ දින සටහන් ගැන

නිතර යන එන අය

ආගිය අය